රම්බරිට බැනපු අය කොලවරි අහලා දැන් රම්බරිටත් හොඳ කියනවා - ළහිරු පෙරේරා
අන්තර් ජාලයෙන් ‘කොලවරි’ ගීතය මිලියන පනස් අටක් පමණ පිරිසක් රසවිඳිද්දි මගේ ‘රම්බරි’ ගීතය දැනට රසවිඳලා තියෙනවා ලක්ෂ හයක විතර ගීතලෝලී පිරිසක්. ලංකාව පුංචි රටක්. අපේ තරමට ඒ හොඳටම ඇති. ඉන්දියාවේ රසිකයින් වැඩියි. ‘රම්බරි’ මේ පොඩි ලංකාවෙන් එළියට ගියෙත් නැතුව ලැබී තියෙන මේ ප්‍රතිචාරය වැදගත් අගැයුමක්. ඉස්සර ‘රම්බරි’ට බැන්න අය පවා ‘කොලවරි’ ඇහැව්වට පස්සේ දැන් ‘රම්බරී’ට හොඳ කියනවා.”එසේ පවසන්නේ අපේ සංගීත ක්ෂේත්‍රයේ නැවුම්, වෙනස් ඉසව්වක රැඳී හිඳිමින් මෙරට ගීතලෝලීන් පිනවන ගායන ශිල්පී ළහිරු පෙරේරාය. විවිධ සංගීත ශෛලි අනුව ගී ගැයීමේ හැකියාව ඇති ළහිරු ගැයූ ‘රම්බරි’ ගීතය මෙන්ම ‘සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුණේ’, ‘රතු රට කජු’ සහ ‘ළබැඳියේ’ වැනි ගීත නව පරපුරේ ශිල්පීන් ගේ නිර්මාණ අතර ළහිරුට වාසනාව ගෙන ආ ගීතයි.
”මං හිතන්නේ අප ගීතයක් ගායනා කළාම එයට මල් හෝ ගල් (හොඳ හෝ නරක) ප්‍රතිචාර ලැබෙනවා කියන්නේ එය ජනතාව අතරට ගියා කියන එකටයි. මගේ ‘රම්බරි’ ගීතයට මුලින්ම ආව ගල් දැන් ‘කොලවරි’ සින්දුව ආවට පස්සේ මල් වෙලා. ‘රම්බරි’ට මුල් කාලේ බැන්න අයම දැන් හොඳ කියනවා.
මගේ මූණට නම් කවදාවත් ‘රම්බරි’ හින්දා බැනලා නැහැ කවුරුවත්ම. ඒත් නොයෙකුත් තැන් වලදීත් ‘රම්බරි’ට බැනපු අය උන්නා. ඒ නිසාත් ‘රම්බරි’ මිනිස්සු අතරට ගියා කියලා මං හිතනවා. නිර්මාණ සියල්ල සැලකුවොත් ‘රම්බරි’ ගීතය තුළ තමයි මම ඉන්නේ.”


Post a Comment